Pages

Saturday, August 11, 2012

කෝකියාට වැහුණු භූතයා (සම්පූර්ණ කතාව)



 මම කළිනුත් මේ කතාවම පළ කළා. ඒත් පොඩි අතපසු වීමකින් සම්පූර්ණ කතාවම පෝස්ට් වෙලා තිබුණෙ නෑ. ආයෙත් කතාව මුල ඉදන්ම ඉවර වෙනකන්ම තියෙනවා

     මේ කතාව සත්‍ය සිදුවීමක්. විශ්වාස කිරීම නොකිරිම ඔබ සතුයි.

     එදා වෙලාව හරියටම රෑ 11 යි.  අපේ තාත්තා මට කතා කළා පොඩි ගමනක් යන්න එන්න කියලා. මමත් ඉතින් ඉක්මනට ෂර්ට් එකක් දාගෙන තාත්තත් එක්ක ගියා. අපි ගියෙ අපේ ලොකු අම්මලගෙ කෑම කඩේට. අපි යනකොට කඩේ වහල ඇතුල ඒකෙ වැඩ කරන අය අස් කරනවා. 

ඇයි තාත්තේ මේ වෙලාවේ කඩේට ආවේ ? මම ඇහුවා.

මේ කඩේ වැඩ කරන කෙනෙක්ට අද රෑ එකොළහ මාරට භූතයක් වැහෙනවා කිව්වලු

මොකක්? භුතයෙක් ?

ඔව්. මාත් ආවෙ ඒ මොකක්ද කියලා බලන්න තමයි.

මම කඩේ ඇතුලට ගියා. ඇතුලෙ කට්ටිය ගොඩ දෙනෙක් වට වෙලා බලාගෙන ඉන්නවා.  මැද්දේ පුටුවක වාඩිවෙලා ඉන්නවා අවුරුදු විස්සක තිහක විතර කෙට්ටු කළු මනුස්සයෙක්. මම දැක්ක ගමන් ඒ මනුස්සයව අඳුනගත්තා. ඒ කඩේ කෑම උයන කෙනා. නම වසන්ත. මාතලේ පැත්තේ ඉදං ආපු කෙනෙක්.

     ලොකු අම්මත් පැත්තක පුටුවක වාඩි වෙලා හිටියා. මම ගිහින් ඇහුවා මොකක්ද සිද්ධිය කියලා.
අද උදේ තමයි වුණේ. උදේ එකොළහට විතර මේ මිනිහා කුකින් රූම් එක පැත්තේ ඉදං කෑගහන්න පටන් ගත්තා මෙහෙ වරෙං..... මොහ වරෙං..... කියලා. අපි ඔක්කොම ගිහින් බැලුවා. මේ මිනිහා ආරූඪ වෙලා කියවනවා. මොනාද මන්දා කියවගෙන ගියා අපිට තේරුණේ නෑ.

ඊට පස්සේ ?

ඊට පස්සේ විනාඩි දෙකු තුනකින් කියවන එක නතර වුණා. හැබැයි නතර වෙන්න කලින් කිව්වා මම ආයෙත් රැ එකොළහ මාරට එනවා කියලා. හැබැයි මේ මිනිහට මුකුත් මතක නෑ.

ඒකද මේ එකොළහ මාර වෙනකං බලාගෙන ඉන්නේ?

ඔව්. මොකක්ද මේ අවුල කියලා බලාගන්න එපෑ

     මමත් ඉතින් බලං හිටියා එකොළහ මාර වෙකනං. එතන ඔරලෝසුවක් වත් නෑ වෙලාව බලාගන්න. මම ඔය භුත කතාව කලින් දන්නවනම් මම කැමරාව අරං එනවා වැඩේ වීඩියෝ කරන්න. එකත් කොහොම කොහොම හරි කරන්න බැරි වුණා.

මං නං හිතන්නේ මේක අරූගෙ බොරුවක් වෙන්න ඇති. මං දන්නවනේ ඕකගෙ හැටි කඩේ කෑම උයන නාදන් කියලා දෙමළ කෙනෙක් හැමෝමත් එක්ක කිව්වා.

මට වුනත් පුලුවන් ඕන්නං ඔය විදිහට රඟපාන්න. මේක ෂුවර් එකටම මුගෙ මරුසියක් 

     නාදන් කියන ඒවා වසන්ත නම් ගනං ගත්තේ නෑ. ඔය වෙලාවේ අපේ ලොකු අම්මා එයාගේ අත් ඔරලෝසුවෙන් වෙලාව බලල මෙහෙම කිව්වා.

දැන් වෙලාව එකොළහයි තිස් පහයි. කෝ තාම භුතයා නෑනේ.

මෙහෙම කිව්වා විතරයි වසන්ත ගේ ඇස් එකපාරටම ලොකු වුණා. ඉදං හිටපු පුටුවෙන් නැගිට්ටා.

මම ආවා බොලව්. මම ආවා මහ හයියෙන් කැ ගහලා කිව්වා. එහෙම කියපු පාරට වටේ හිටපු කට්ටිය බය වෙලා පස්සට ගියා.

     ඔය අතරෙදි අර නාදන් කෑ ගහගෙන බිම ඇදගෙන වැටුණා. එයාගේ කටින් සෙම බේරෙනවා. මහ වේදනාවෙන් දෙමළෙන් කෑගැහුවා. බෙල්ල අතින් අල්ලගෙන අමාරුවෙන් තමයි කෑගැහුවෙ. වසන්ත වටේ හිටපු කට්ටිය ඔක්කොම නාදන් ගාවට ගියා.

මොකද මේ එක පාරටම වුණෙ නාදන්?

අනේ මහත්තයෝ මගේ බෙල්ල කවුද තද කරනවා. මට හුස්ම ගන්න බෑ......... නාදන් අමාරුවෙන් වචනයක් ගොතාගෙන කිව්වා.

ඔය තියෙන්නේ ඔය මිනිහගෙ දඩුවම........ මම තමයි එහෙම කළේ........... කට පරිස්සම් කරගෙන හිටියනං ඕක වෙන්නේ නැහැ. වසන්න කිව්වා.

‍මොනා හරි කරලා මේ මිනිහව හොඳ කරන්න.... නැත්තං මෙයි මැරෙයි ළඟ හිටිය කවුද මන්දා කිව්වා.

     ඊට පස්සේ වසන්ත වැටිල හිටිය නාදන් ගාවට ගියා. මොනාද මන්දා මන්තරයක් විනාඩි දෙක තුනක් කිව්වා. කියලා බෙල්ල වටේ අත අරන් ගියා. මාර පුදුමයක්. ඒ වෙලාවේ නාදන්ට මුකුත් වුණේ නෑ වගේ හොඳ වුණා. ඊට කලින් තමන්ගේ බෙල්ල හිරවෙලා තිබුණ වගක් වත් එයාගෙන් පෙනුනේ නෑ.

මම මාතලේ අහවල් පන්සලේ (පන්සලක නමක් කිව්වා) ලොකු හාමුදුරුවෝ. මම අපවත් වුණේ මීට අවුරුදු දහයකට විතර කලින්. මම දැන් කතරගම දෙයිහාමුදුරුවෝ ගාව තමයි වැඩ ඉන්නේ වසන්ත කියවගෙන ගියා.

     ඔය කතාව අහලා ළඟ ඉන්න ඔක්කොම කට්ටිය පුදුම වුණා.

ඉතින් ඇයි ඔබතුමා වසන්තගේ ඇඟට වැහිලා ඉන්නේ? කඩේම වැඩ කරන තව කෙනෙක් ඇහුවා.

මේ පින්වතාගේ තාත්තා අපේ පන්සලේ හොඳ දායක මහත්තයෙක්. ඒයා මියපරලොව ගියාට පස්සේ එයාගේ පරපුරේ කෙනෙකුට ඉන්නේ මේ උපාසක ඇත්තෝ විතරයි. මේ වගේ දේව වරමක් ලේසියෙක් කාටවත් ලැබෙන්නේ නෑ.

     ළග හිටපු අය පුදුම වෙලා බලං ඉන්නවා.  හැබැයි එක්කෙනෙක් වත් ළඟට යන්න බයයි. මටත් ඉතින් ඒ වලාවෙ ළඟට යන්න බට හිතුනා. ඔහොම ටික වෙලාවක් ඉන්න කොට වසන්ත මෙහෙම කිව්වා.

මට මේ ළඟ තියෙන පන්සලට යන්න ඕනෙ. මාව එක්කං පලයං පන්සලට........

     එතකොට වෙලාව රෑ දොළහට විනාඩි පහක් විතර ඇති. මේ වෙලාවට මොන පන්සල්ද? ඒත් කරන්න දෙයක් නෑ. එක්කන් යන්නම වෙනවා. ඒක හින්දා කඩේ තිබ්බ වෑන් එකකට එයාව නග්ගගෙන පන්සලට අරං ගියා.

     පන්සල ගාවට යනකොට පන්සලේ බලු බල්ලෙක් නෑ. ගේට්ටු ඔක්කොම වහල. ඒ පැත්තෙන් යන්න බෑ. ඉට පස්සේ පන්සලේ අනිත් පැත්තෙන් එයාව පන්සල ඇතුලට එක්කගෙන ගියා.

     පන්සල ඇතුලෙදි පිස්සුවෙන් වගේ ඇවිද්ද එයා අන්තිමට නතර වුණේ පන්සලේ කතරගම දේවාලේ ගාව. එතනට ආපු ගමන් කළේ එතන බඩගාලා දේවාලෙට වැඳපු එක. ඊට පස්සේ දෙමළෙන් මොනාද මන්දා කියවන්න පටන් ගත්තා.  එහෙම කියවලා ඉවර වෙලා එතනින් හිමීට නැගිට්ටා. එතකොට අර ආවේස ගතිය තිබුණෙ නෑ. මුකුත් කතා කළෙත් නෑ.

දැන් මොකෝ වසන්ත? එතන හිටපු කෙනෙක් ඇහුවා.

ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?.... මම මේ කොහෙද ඉන්නේ? ..........දැන් වෙලාව කීයද?.......

වසන්ත ඔය වගේ ප්‍රශ්න වැලක් අහන්න පටන් ගත්තා. එතනින් පස්සේ ඉතින් කියන්න දෙයක් නෑ. සාමාන්‍ය විදියට එතන ඉඳන් වසන්ත වැඩ කරන්න ගත්තා. ඒත් පහුවෙනිදා උදේ වෙනකන් විතරයි.

     මේ සිද්ධිය ගැන මගේ පරීක්ෂණ තාම ඉවර නෑ. ආයෙත් පාරක් මිනිහට භුතයා වැහෙනවා කියලා ආරංචි වුනොත් මම අනිවා ඒක වීඩියෝ කරලා ඕගොල්ලන්ට පෙන්නනවා. අදට සමුගමු.

     මේක කියවන ඕගොල්ලන්ටත් මේ සිද්ධිය ගැන අදහස් ඇති. මම නම් හිතන්නේ මේක අරුන් දෙන්නා එකතු වෙලා රඟපෑව නාට්‍යයක් කියලා. ඕගොල්ල‍න්ගේ අදහසුත් පහල කමෙන්ට් කරලා යන්න..

3 comments:

  1. මං හිතන්නේ සිරා සිද්දියක්.අරුන්ට මොන අමාරුවකටද ඔච්චර ලොකු රඟපෑමක් කරන්නේ?

    ReplyDelete
  2. @මඩිස්සලේ නිශාන්
    එකට හේතු කීපයක් තියෙන්න පුළුවන්. ඊට කලින් මේ සිද්ධියේ අලුත්ම කතාව කියලා ඉන්නම්.
    ඊයෙ, ඒ කියන්නෙ අගෝස්තු 11 වෙනිදා හවස වසන්ත ආයෙ ගමේ ගිහිල්ලා! ඒකට හේතුව මොකක්ද දන්නවද? එයා කියලා තියෙනවා කඩේ තියෙන තැන දේව වරමක් තියෙන තැනක් කියලා. ඒ හින්දා එයාට ඕනෙලු එතන සාස්තර කියන තැනක් දාගන්න. මොකද කඩේ තට්ටු 3ක බිල්ඩින් එකක්. ඒකෙ පොලොව යට තට්ටුව මුකුත් වැඩක් ගන්නේ නැතුව තියෙන්නේ. අන්න එතන මිනිහට ඕනෙලු සාස්තර කියන තැන දාගන්න. ඒකට ලොකුඅම්මලා කැමති නැති හින්දා තමයි මිනිහට පඩි දීලා ගෙදර යවල තියෙන්නේ. ඒ වුනාට මිනිහා ගිහින් තියෙන්නේ ආයෙ එනව කියලා හිතාගෙන......
    ලේසියෙන්ම සල්ලි හම්බ කරගන්න විදියක් හදාගන්න මිනිහා මේ රඟපෑම කළාද දන්නේ නෑ.
    (තව දෙයක් තියෙනවා. මමත් ඒ කතාව ඇත්ත කියලා විශ්වාස කරන්නේ නෑ. ඒත් තාම මට මුකුත් වුණේ නෑ!)

    ReplyDelete
  3. mama nam hitanna aka boruwak nawai ....oya waga siduwim gana mama ahala tiyanawa.boruwak wenna ba

    ReplyDelete