Pages

Thursday, October 11, 2012

ෂර්ලොක් හෝම්ස් ගේ ගෙදරට යමු

මෙච්චර දවසක් "සංකල්පගේ  ගවේෂණ" ට ආපු හැමෝගෙම ඉල්ලීම මත මම මේ බ්ලොග් අඩවිය ට ලිපි දාන එක නවත්තලා අළුත් බ්ලොග් අඩවියක් ආරම්භ කළා. 

1890 - 1910 කාලවල එංගලන්තයේ  ලියවෙච්ච ෂර්ලොක් හෝම්ස් කියන රහස් පරීක්ෂක කතා මම ගොඩක් ආස කරපු කතා මාලාවක්. මම ඉතින් ඒ කතාවල ප්‍රධාන චරිතය ට ගැලපෙන විදිහට "221 බී, බේකර් විදිය , ලන්ඩනය" (ෂර්ලොක් හෝම්ස් චරිතය ජීවත් වූ නිවසේ ලිපිනය) කියලා මගේ බ්ලොග් අඩවිය නම් කළා. බ්ලොග් එක ලියන මම තමයි ෂර්ලොක් හෝම්ස්.

මගේ පාසලේ මාත් එක්ක එකට ඉගෙන ගන්න මගේ යාළුවෙකුත් මේ බ්ලොග් සයිට් එක ලියන්න එකතු වෙනවා කියලා කිව්වා. එතකොට එයා තමයි "දොස්තර වොට්සන්" (ෂර්ලොක් හෝම්ස් ගේ මිතුරා). ඔහුටත් මට වගේම කියන්න ලස්සන ලස්සන කතා ගොඩක් තියෙනවා. එයා ලියන කතාත් කියවන්න ඔයාලා ගොඩක් කැමති වෙයි.


මගේ ඒ අලුත්ම බ්ලොග් අඩවියට පිවිසෙන්න දැන් ඔයාලට මෙන්න මේ ලිපිනයෙන් පුළුවන්

221/බී, බේකර් වීථිය, ලන්ඩනය

මේ බ්ලොග් අඩවිය ගැන ඔයාලා හිතන දේ කමෙන්ට් කරලා යන්න...
ඔබට ජය!

Sunday, September 16, 2012

කෙල්ලත් සමග කතා කර කෙල්ලගේ අම්මට මාට්ටු වීම


"අදනං කොහොම හරි එයත් එක්ක කතා කරන්න ඕනෙ බං."

      පවන් මට එහෙම කිව්වේ බ්‍රහස්පතින්දා දවසක හවස පන්ති ඇරිලා යන ගමන්. පවන් අපේ පන්තියටම එන 9 වසරේ කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියා.

"ඉතිං ගිහින් කතා කරපන්කෝ......." මම කිව්වා.

"බෑ බං. එයා අද සමාධි අතේ කියලා තිබුණා එයත් එක්ක කතා කරන්න ඉන්න එපා කියලා. මොකද අද එයාව එක්කන් යන්න එන්නේ එයාගේ අම්මලු."

"ඉතිං හොඳයිනෙ බං. වෙනදට එන්නේ තාත්තනෙ. අද අම්මා එන එකේ ටිකක් කතා කරපං"

"මොන හොඳද බං? එයාගෙ අම්මා එනවට වඩා හොඳයි තාත්තා එන එක"

"ඒ ඇයි?"

"එයාගෙ තාත්තට වඩා අම්මා වසයි බං"

"ඉතිං උඹ කතා කරනවද?"

"ඒකට තමයි බං විදියක් නැත්තේ.  හදිස්සියෙ හරි අම්මා ආවොත් මම කපෝතියි."

"මම කියන්නද? උඹ ඒකිත් එක්ක කතා කරන්න පන්තිය ගාවට ආයෙ පලයං. ඒකිගෙ අම්මා එනවනං එන්නේ මෙතනින්නේ. අපි සුපුන්ට කියමු අම්මා එනවනං උඹේ ෆෝන් එකට කෝල් එකක් ගහන්න කියලා."

"පට්ට අයිඩියා එක මචං. එහෙනං එහෙම කරමු."

      මෙහෙම කියපු අපි සුපුන්ට කිව්වා කෙල්ලගෙ අම්මා එනවනං කෝල් එකක් ගහන්න කියලා. හැබැයි එතනදි අපිට පොඩි මිස්ටේක් එකක් වුණා. ඒ පොඩි මිස්ටේක් එකෙන් තමයි පවන්ගේ ජීවිතේ වෙනස් වෙන්නේ.

"එහෙනං උඹත් වරෙං බං ෂේප් එකේ මාත් එක්ක යන්න." පවන් මටත් එන්න කිව්වා. මමත් ඉතින් පවන් එක්ක ගියා.

      අපි පන්තිය ගාවට යනකොට කෙල්ල ඉන්නවා තනියෙන්. පවන් එයාගේ ෆෝන් එක මට දීලා කෙල්ල ළගට ගියා. මම ඊට අඩි පහක් හයක් මෙහායින් හිටියා.

"අනේ පියුමි....... මට ඔයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණාට මට ඔයත් එක්ක හරියටම දවස් 9 කින් කතා කරන්න හම්බ වුණේ නෑ."

"ඇයි පවන් අයියෙ ඔයා ආවෙ? මම කිව්වා නේද එන්න එපා කියලා. අද අපේ අම්මා එනවා. අනික අපෙ අම්මට අර ඔයා දීපු............................"

      කෙල්ලට කතාව කියලා ඉවර කරගන්න හම්බ වුණේ නෑ. රතුපාට ස්කූටරයක් ඇවිල්ලා අපි ඉන්න තැනට පොඩ්ඩක් මොහායින් නතර කළා. ඒකෙ  ආවෙ අවුරුදු 35 ක 40ක විතර ඇන්ටි කෙනෙක්.

"මොනාද ෂශී ඔයා මේ කරන්නෙ........?"

 පියුමිගෙන් එයාගෙ අම්මා ඇහුවා. ඒත් කෙල්ල හොඳටම බයවෙලා මුකුත් කිව්වේ නෑ. අර ඇන්ටි පවන් දිහා ඔරවලා බැලුවා.

"‍පොඩ්ඩක් ඔයා එන්න මෙහාට" ඇන්ටි පවන්ට කතා කළා.

"ඔයා ද පවන් කියන්නේ?"

"ඔඔඔ......ව්... ඇන්ටි.........."

"ඔයා නේද පියුමිට ගිය සතියෙ චන්කි චොක් එකක් දීල එවල තිබුණෙ?"

"මේ..............නෑ.......මේ...........මම.............."

"මම දන්නවා ඔය දෙන්නා අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා. මම මේක දැනගත්තට තාත්තට කිව්වේ නෑ. එයාට කිව්වනං පුතේ ඔයාට ගුටි කන්න වෙනවා. මෙතන කිසි ප්‍රශ්නයක් ඇති නොවෙන විදියට මම කිසි කෙනෙකුට මේක කිව්වෙ නෑ. හැබැයි පුතේ මේ අහගන්න. තාම ඕගොල්ලො ඉගෙන ගන්න වයස. මේ වයසෙදි ඔය වගේ විකාර ඔළුවට ගත්තම  ඉගෙනුම කඩාකලප්පල් වෙනවා. ඕවා ඔයදෙන්නට ඕලෙවල් ඒලෙවල් කරලා ඉවර වුණාම කරන්න ඕන තරම් කාලය තියෙනවා. ඔයා හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගෙන ඉවර වෙලා ඔය දෙන්නා යාළු වුණාට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. මම අන්තිමට කියන්නෙ මේකයි හොඳට ඉගෙන ගන්න."

එහෙම කියපු ඇන්ටි අර කෙල්ලවත් බයිසිකටල්ට නග්ගගෙන යන්න ගියා. මේ කතාව අහගෙන හිටපු පවන් හිටියෙ නිකං පිස්සු හැදිල වගේ. මටත් නිකං විශ්වාස කරන්න බෑ.

      ඔය සිදුවීම වුණේ මීට මාස දෙකකට විතර කළින්. ඊට කළින් එච්චර ඉස්කෝලෙ වැඩ වලට උනන්දුවක් නොතිබුන පවන් දැන් ඇත්තටම බැහැල වැඩ. ඌට කිබුණු ෆෝන් එකත් අයින් කරලා දාලා වෙන කිසිම දේකට හිත යොමු කරන්නේ නැතුව පාඩම් කරනවා. හැබැයි ඉතිං කෙල්ලත් එක්ක කතා කර කර එහෙ මෙහෙ යනඑක නං නවත්තලා නෑ.

අනිත් එක තමයි අපිට අම්මා එනවනං කෝල් එකක් ගන්න කියපු එකාට වෙච්ච වැඩේ. ඒ වෙලාවේ උගෙ ෆෝන් එකේ බැට්රිය බැහැලා ෆෝන් එක ඕෆ් වෙලා තිබිල තියෙන්නේ. කෝල් එක ආවෙ නැත්තේ ඒකයි. කොහොම වුනත් ඒ වෙලාවෙ ෆෝන් එක ඕෆ් වෙච්ච එකත් හොඳට ගියා.

Wednesday, August 22, 2012

පිටට තට්ටු කරපු මෝහිනී


අරුණ වේරගල සර්ගෙ සිංහල පන්තිය පටන් ගන්න තිබුණෙ විනාඩි විස්සක් විතර. එදා අඟහරුවාදා දවසක්. වෙලාව තුනයි දහයට විතර ඇති. මම පන්තිය ගාව අපේ පන්තියේ අනිත් අයත් එක්ක හිටියා පන්තිය පටන් ගන්නකං. ඔය අතරෙදි තමයි අපේ පන්තියෙ ඉන්න මධුෂ්ක කියන එක්කෙනා ආවෙ.

ඒ.... මේ බලහංකෝ බං මේ ෆොටෝ එක......... මධුෂ්ක කිව්වා.

කෝ පෙන්නහං බලන්න තොගෙ මහලොකු ෆොටෝ එක.... අපේ එවුන් කිව්වා.

මමත් එහෙං මෙහෙන් එබිලා ෆෝන් එකෙන් පෙන්නපු ෆොටෝ එක බැලුවා. ඒකෙ තිබ්බේ මධුෂ්කගේ අයියගෙ ‍ෆොටෝ එකක්. ඒක අරගෙන තිබුනෙ ඒගොල්ලන්ගේ ගෙදර වත්තෙදි. ඒකෙ තිබ්බ පුදුමෙ තමයි ඒ ‍ෆොටෝ එකේ අයිනකින් සුදුපාටට මනුස්සයෙක්ගේ හැඩේට ඡායාවක් වගේ රූපයක් තියෙනවා. ඉතින් ඕක දැකලා අපේ පන්තියේ ඉන්න මහාචාර්යවරු එක එක කතා කිව්වා. මමත් ඉතින් ඔය කතා අහං ඉන්න ගමන් අපේ පන්තියේ ඉන්න තව එකෙක් තව කතාවක් මට කිව්වා. ඒ කතාව අර කතාවට වඩා මේ කතාව හොඳ හින්දා මම මේ කතාව කියන්නං.

ඕවා නෙමෙයි බං හොල්මන්... උඹ දන්නවා නේද උපුල් අයියව?

මොන උපුල්ද බං?

අර ගියපාර කැම්පස් සිලෙක්ට් වෙච්ච එකා බං.

අර සයන්ස් වලින් ඒ ලෙවල් කරපු එකානෙ.

ඔව් ඔව්.

ඉතින්?

අන්න ඌ ඉස්සර, ඒ කියන්නෙ මීට අවුරුදු තුන හතර කට කලින් ඉදං ඌට තිබ්බණෙ මාර විද්‍යා පිස්සුවක්. ඒ පිස්සුව කොච්චරද කියනව නං ඌ හැමදෙයක් කතා කරන්නේ විද්‍යාවෙන්. නිකං යාලුවෙක් විහිලුවක් කළත් ඌ විද්‍යාවෙන් කියවනවා.

ඉතින් මොකද ඌට වුණේ.?

ඌ ඒක හින්දම හොල්මන් විශ්වාස කරන්නේ නෑ. අඩුම ගානෙ හොල්මනක් ළඟට ඇවිල්ලා කතා කරත් මූ හොල්මන් විශ්වාස කරලා නෑ.

ඇයි ඌට හොල්මනක් හම්බ වෙලාද?

ඔව් බං. ඌ පන්ති ඉවර වෙලා ගෙදර යනකොට දවසක් උගෙ පිටිපස්සෙන් මෝහිනි ඇවිල්ලා කතා කරලා

ඇත්තටම මෝහිනීද?

පොඩ්ඩක් හිටපංකෝ කියනකං පනින්නෙ නැතුව. ඌ ගෙදර යනකොට යන්නේ කනත්ත ගාවෙන්. එතකොට වෙලාව නවහමාරට විතර ඇති. එකපාරටම කනත්ත ගාවදි පාරෙ ලයිට් කණු වල ලයිට් ඕෆ් වෙලා. මුලු පාරම මීදුමෙන් වැහිලා. ඌ ඒත් බයවෙලා නෑ. එකපාරටම සීතලම සීතල අතක් උගෙ පිටට තට්ටු කරලා. ඌ පිටිපස්ස හැරිල බලලා. ළමෙක් වඩාගත්ත ලස්සන කෙල්ලෙක් ඉන්නවලු සුදු සාරියක් ඇදගෙන. ඊට පස්සෙ ඒ කෙල්ල ඇහුවලු මුගෙන් කනත්තට යන පාර. මූ ගත්කටටම කිව්වලු මෙන්න මේ පාර දිගේ කනත්තට යන්නෙ. ඔයාට තනිනං මාත් එන්නං ඔයත් එක්ක යන්න කියලා.

මූ මාර යකෙක්නේ බං! ඉතිං ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නේ?

අර කෙල්ලත් කියලා හා එහෙනං මාව කනත්තට එක්කං යන්න කියලා.

ඉතින් ඌ මෝහිනීව කනත්තට එක්කන් ගිහිල්ලද?

කනත්තට එක්කන් ගිහිල්ල විතරක් නෙමෙයි තව තව වැඩත් කරලා.

ඒ මොනවද?

ඌ ඒ කෙල්ලට කරදර කරන්නත් හදලා

මොකක් ! හොල්මනකට කරදර කරන්න හදලා?

ඒකි ඇත්තටම හොල්මනක් නෙමෙයි බං. ඒක අර උගෙ යාලුවො ටික ගහපු මාර ගේමක්.

ඒ කියන්නේ අර කෙල්ල ඇත්ත කෙල්ලෙක්? බොරුවට උපුල්ව බය කරලා?

ඔව් ඒක තමයි කරල තියෙන්නේ. ඒ වැඩේ කරන්න උන්ට රුපියල් තුන්හාර දාහක් ගිහිල්ලා. වැඩේ ඔරිජිනල් විදියටම තමයි කරලා තියෙන්නේ.

ඇයි ඒ උපුල්ගෙ යාලුවො ටික ඌව බය කරල තියෙන්නේ?

මේකයි වෙලා තියෙන්නෙ. ඔය වැඩේ වෙන්න ටික දවසකට ඉස්සෙල්ල තමයි අර අතන කුමාර මාමලගෙ ගෙවල් ගාව හිටපු කෙල්ලෙක් ඇක්සිඩන්ට් එකකින් මැරුණෙ. ඒ මළ ගෙදරට උපුලුත් ගිහිල්‍ලා. එතතනදි උගෙ යාලුවො ටික ඌත් එක්ක වාදෙකට පැටලිලා හොල්මන් ගැන. උපුල් කියනවලු හොල්මන් කියලා දෙයක් නෑ කියලා. ඒක ඔප්පු කරන්න විද්‍යාත්මක දේවලුත් කියනවලු. ඕක අහගෙන ඉන්න එවුන්ට ඒ වෙලාවෙ ටිකක් මළ පැනලා. ගහගන්නත් ගිහින්. ඒත් කොහොම හරි ෂේප් කරගෙන. ඒ වුණාට ඒ වෙලාවෙ උන් කතා වුණාලු කොහොම හරි මූට වැඩක් දෙනවා කියලා.

එතකොට ඕකද දීපු වැ‍ඩේ?

ඔව්. ඒ වුණාට ඒ වැඩෙත් උන් දීල තියෙන්නෙ විද්‍යාත්මක විදියට.

ඒ කියන්නේ?

උන් වැඩේට කෙල්ලෙක් හොයාගෙන තියෙන්නෙ මෙහෙමයි. උපුල් එක්ක එදා වාද කරපු එකෙක්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවලු හරියට අර මැරිච්ච කෙල්ල වගේ හැඩ හුරුකම් තියෙන. අන්න ඒ කෙල්ලව තමයි මෝහිනි වගේ අරගෙන තියෙන්නේ.

එතකොට අර මීදුම ආපු ඒවා? ලයිට් නිමිච්ච ඒවා කළේ කොහොමද?

මීදුම එන වැඩේ තමයි විද්‍යාවෙන් දීල තියෙන්නේ. උන් මීදුම හදලා තියෙන්නෙ ඩ්‍රයි අයිස් (වියලි අයිස්, ඒ කියන්නේ ඝන කාබන්ඩයොක්සයිඩ්) ලීටර් පහ හයක් ගෙනල්ලා ඒවා වලට වතුර දාලා. එතකොට නිකම්ම මීදුම වගේ වටේට හැදෙනවා.

ලයිට් ඕෆ් වෙච්ච ඒවා?

ඒක කරන්න උන් ඊට කලින් දවසෙ රෑ ගිහිල්ලා ලයිට් කණුවල ස්විච් ගලවලා ඒකෙ තියෙන වයර් වලට තව වයර් මුට්ටු කරලා ඒ වයර් එක තැනකට හයි කරලා උන්ට ඕන වෙලාවට ලයිට් ඔෆ් ඔන් කරන්න පුළුවන් විදියට.

මාර ගේමක් නෙ බං ගහලා තියෙන්නෙ

අර කෙල්ලගෙ අතේ තියලා තියෙන්නේ බෝනික්කෙක් ඇත්ත ළමයෙක් වගේම. ඒ කෙල්ල උපුල්ව අල්ලන්න කළින් අතට ෂොපින් බෑග් එකක් දාගෙන අත අයිස් කැට කෝප්පෙක ටිකක් වෙලා දාගෙන ඉඳලා තියෙනවා. එතකොට අත සීතල වෙනවනෙ.

අන්තිමට මොකද වෙලා තියෙන්නේ?

අන්තිමට උපුල් අර කෙල්ලව අරගෙන කනත්ත ඇතුලට ගියාට පස්සෙ අර කෙල්ලගෙ අතින් තද කරලා අල්ලලා. එතකොට ඒ කෙල්ලට කෑගැහිලා. ඒක ඇහිච්ච කෙල්ලගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා සිද්ධිය උපුල්ට පැහැදිලි කරලා දීලා අන්තිමට වැඩේ කරපු එවුන් උපුල්ට කියලා උන්ගෙ අම්මලවත් මතක් කරගෙන ගිහිල්ලා තියෙන්නේ.

ඔන්න ඔය වෙලාවෙදි අපේ සිංහල පන්තිය පටන් ගන්න කට්ටියට පන්තිය ඇතුලට එන්න කිව්වා. ඒ වෙලාවෙදි මට මතක් වුණේ මමත් පන්ති ඇරිල යන්නේ උපුල් ව බය කරපු කනත්ත ගාවින්මයි කියන එක.